හෙළවරුණා
Tuesday, March 21, 2017
බටහිර ආහාරයන්ගෙන් මිදී පුරාණ හෙළ ආහාර රටාවට නැවත හුරුවිය යුත්තේ ඇයි?
වර්තමාන සිංහල සංස්කෘතිය අඩපණ වී පවතින්නේ සමාජය ජීවත්වීම පිළිබඳව ආයුර්වේදය මූලධර්ම වන ආහාරය, ඖෂධය, විහාරය (හැසිරීම) යන ත්‍රිවිධ අංගයෙහිම සුඛෝපභෝගී වන බැවිනි.
අධිරාජ්‍යවාදී වෙළෙන්දෝ සිංහල මිනිසා පුරුදු වී සිටි සාරවත් ආහාරයෙන් තොර කොට ගිජුකම, තෘෂ්ණාව, මෝඩකම අලසකම ඇතිකරන දේටම ඔහු ඇබ්බැහි කළහ. ස්වාභාවික ආහාරපාන නිගාවට ලක්කොට රට හාල් ඇතුළු කෘතිම ආහාරයටත් බ්‍රැන්ඩි විස්කි අරක්කු ඔරේන්ජ් බාර්ලි බඳු අස්වාභාවික පානයටත් ඔවුහු සිංහලයා පුරුදු කළහ. පිටරට කෑම බීමෙහි විටමින් අඩංගු වන බවද මෙරට කෑම බීමෙහි විටමින් හිඟ බවද ඔවුහු අපට ඉගැන්වූහ. මෙරට හාල් හා කිරි රට වැසියන්ගෙන් තුරන් කිරීම නිසා ජනයා සෞඛ්‍ය අතින්ද බුද්ධිය අතින්ද ආර්ථික අතින්ද එක සේ පිරිහුණේය.
අධිරාජ්‍යවාදීන් ලංකාවට පැමිණීමට පෙර සිංහලයෝ හින්දූන් මෙන් ගව සම්පත අගය කළහ.
මෙය වටහා ගත් අධිරාජ්‍යවාදීහු සිංහල සමාජයේ ආර්ථික පදනම වන ගව සම්පත හා ගොවිකම විනාශ කළහ. කිරට වතුර හෝ වෙනත් දේ මිශ්‍ර කොට බීමට පුරුදු කළහ. මේ අන්දමින් කිරි බීමේ පුරුද්ද නැතිවී ගියේය. කිරි බොන ජනතාවට ටින් කිරි හා පිටි කිරට පුරුදු වූහ.
යෝගාර්ණවයෙහි කිරෙහි අගය මෙසේ සඳහන් කොට ඇත.
“හෙළකිරි රසායනය, වා පිත්තයයි, ගුරුය, පත්‍යය, සියලු ආම නසයි, මධුරය, සියලු රෝගයනට හිතයි, උතුම් වේ.”
එය රසවත් පානයක්ද, පෝෂ්‍ය ආහාරයක්ද, රෝග නිවාරණ බෙහෙතක්ද වන්නේය.
තවද පෙරදිග බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ආහාරය බතය. බත් සපයන වී වර්ගද බොහෝය. ඈත අතීතයේ පොදු ජන ජීවිතය ගොවිතැන හා බැඳී පැවතිනි. රජවරුන් පවා වප්මගුල් උත්සව පැවැත්වූ බව අපේ ඉතිහාසය කියයි.
ආදි සිංහලයා බත සකස්කර ගත්තේ වී කොටා ලබාගත් සහලෙනි. එදා වී යන්ත්‍රයකට දමා සහල් කර ගත් බවක් දන්ට නොලැබිණි. රතු හාලේ ජිටකුඞ්ඩ ශරීරයට අවශ්‍ය ජීවධාතු සෑහෙන ප්‍රමාණයක් ලබා දෙයි. යන්ත්‍ර මාර්ගයෙන් සහල් පාහින්නට යාම නිසා ශරීරයට විශේෂයෙන් ලැබිය යුතු ජීවධාතු කොටස් නැතිවීම ළමයින්ගේ ශරීර වර්ධනය බාල කරන්නක් විය.
මෙයින් මා හඟවන්නට උත්සාහ කරන්නේ රතුකුඩ සහිත හාල ඉතා ගුණ බව විදහා දැක්වීමටයි.
ආහාරපාන ගැන කතාකිරීමේදී අපේ සිත්වලට පරම්පරා ගාණක් තිස්සේ ඇතුළු වී ඇති උෂ්ණ ශීත ගුණ ගැන කතා නොකර ආහාර ගුණ කිව නොහැකියි.
ආයුර්වේදයේ සඳහන් වා, පිත්, සෙම් යන තුන උෂ්ණ ශීත ගුණ හා එක්ව බැඳී පවතී. යම්කිසි කෑමක් කෑ විට පිත වඩන්නේ නම් එය උෂ්ණ ගුණ යුතු දෙයක් හෙවත් ගිනියම් දෙයකියි කියමු. යම්කිසි කෑමක් ගත් පසු ඇඟේ කැක්කුම, වේදනාව ඇති කරයි නම් එය වාතය වඩන්නකැයි කියමු.
මා මුලින් සඳහන් කළ උපන් ගතිය හෙවත් ප්‍රකෘති ගතිය අනුව කෙනෙකුට ගිනියම් හැයි හැඟෙන දෙය තව කෙනෙකුට ගිනියම් නොවන්නට හැකිය. එසේම කෙනෙකුට ශීත යැයි හැඟෙන දෙය තව කෙනෙකුට ශීත නොවන්නට හැකිය.
ශරීර ශක්තිය වඩන බොහෝ දෙය ගිනියම් ගුණයෙන් යුතු වන අතර ඉක්මනින් දිරවන දියර ගතිය වැඩි දේ ශීත ගුණ විය හැකිය.
ඇතැම් ගිනියම් යැයි සළකන ආහාරපාන තවත් සීතල දෙයක් හා මුසුකර සකස්කර ගත් විට මුල් ද්‍රව්‍යයේ ගිනියම් ගුණය හීන වේ. උදාහරණයක් ලෙස දෙල් ගිනියම් කෑමකියි පිළිගැනේ. මේ දෙල් ශීත ගුණයෙන් යුත් නිවිති හෝ වෙනත් දෙයක් සමඟ සකස්කර ගත් විට ගිනියම් ගුණය හීන වේ. අපි එයට සංයෝග ගුණ යැයි කියමු.
මෙපමණක් නොව ඒ ආහාරය වරකට ගන්නා ප්‍රමාණය හා ගන්නා වේලාව යන කරුණු අනුවද උෂ්ණ ශීත ගුණයන් වෙනස් වේ.
තවද අනුරාධපුර, තිස්ස වැනි උණුසුම් දේශගුණ පවතින පළාත්වල උෂ්ණ කාලවලදී වට්ටක්කා, පුහුල්, දියලබු, පැණි කොමඩු, නියඹරා, පිපිඤ්ඤා වැනි දේ වැඩි වශයෙන් සෑදෙන්නේ ආමාශයේ උපදින ඇඹුල් ගතිය අඩු කරන්නටත්, මූත්‍රා පිටකිරීමේ ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාකර මූත්‍රා පිටකිරීමට උදව්දීම පිණිසය.
මේ කරුණු සියල්ල සළකා බැලීමේදී ඒ ඒ රටවල ඒ ඒ පළාත්වල වාසය කරන්නන් තම තමන්ට සුදුසු ආකාරයට පෝෂණයට හා නීරෝගීභාවය ආරක්ෂා කිරීමට ගැළපෙන සේ ආහාරය තෝරාගන්නා අතර ආහාර පිණිස සකස්කරගත යුතු විධි ද වෙනස් වේ.
මෙය තේරුම් නොගෙන මෙරට ජනයා නැවත දේශීය කිරි වර්ග හා දේශීය ආහාර වර්ග හා ආහාර රටාවන් වලට හුරුකිරීමක් නොකර මූලික සෞඛ්‍ය හා ආර්ථික ප්‍රශ්න කෙසේ විසඳිය හැකිද? නොහැකිමයි.
ආයුර්වේද මූලධර්ම අනුව සමාජය විග්‍රහ කරනා ඕනෑම කෙනෙකුට කොතෙක් ආරෝග්‍යශාලා, පිං බෙහෙත් ශාලා ගොඩනැගුවද, වෛද්‍යවරු පුහුණු කළද, පිටරටින් මෙරටට ඖෂධ ගෙන්වූවද ආහාර ප්‍රශ්නය විසඳන තුරු පලක් නොවන බව මැනවින් වැටහේ.
ඉදිරි ලිපිවලින් අපි අපේ රටේ ඇති එළවළු, ධාන්‍ය වර්ග, කිරි වර්ග කිහිපයක කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නෙමු.
පානදුර ගඟුලේ වෙදමැදුරේ පොඩි වෙද මහත්තයා
මූලාශ්‍රය :-karma.lk
රෝගියාගේ නාඩි පිරික්සා රෝගය හදුනාගත්
හෙළ වෙදකමේ විශ්මිත ශාස්ත්‍රය
සිංහල නාඩි සම්ප්‍රදාය පුරාණ යක්ෂ හා නාග වංසික ඉසිවරුන් බිහිකල නාඩි ශාස්ත්‍රයට අනුව රෝගියා පරීක්ෂාකර ප්‍රකතිකාර කිරීම සිංහල වෙදකමේ සුවිශේෂී අංගයකි. නාඩි පරීක්ෂාව නොදන්නා අය වෙදැදුරෙකු ලෙස එකල පිලිගන්නේද නැත.ඉන්දියානු අයුර්වෙද හා සිද්ධ වෙදකමේද නාඩි පරීක්ෂාව තිබුනද සිංහල නාඩි ශාස්ත්‍රය මෙන් දියුණු නැත.ඉන්දියාවටද නාඩි ශාස්ත්‍රය දායාද කලේ පුලස්ති ඉසිවරයාවේ.(මේ බව පසුගිය ලිපියෙ දැක්වේ) එහෙත් සියලු ශාස්ත්‍රයම ඔවුන්ට නොලැබුණි. එමෙන්ම ඉන්දියානුවන් මෙය බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව විකෘති කලහ. සිංහළ වෙදකමේදී ගැහැණු හා පිරිමි රෝගීන් සියල්ලන්ගේම දකුණු අතේ නාඩි පරීක්ෂාව කරන අතර වෛද්‍යවරයා තම දෑතම මේ සදහා යොදාගනී (දකුණු අත නැතිවිට වම් අත පරීක්ෂා කරයි).
එහෙත් ඉන්දියානුවන් තම බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව පිරිමින්ගේ දකුණු අතේද ගැහැණුන්ගේ වම් අතේද නාඩි පරීක්ෂා කරයි. වෛද්‍යවරයා තම දකුණු අත පමණක් භාවිතා කරයි. ඉන්දියානුවන් අතේ වාත පිත කඵ යන ත්‍රිදෝෂය පමණක් පරීක්ෂා කරයි. එහෙත් සිංහළ නාඩි ශාස්ත්‍රය යේදී නාඩි පරීක්ෂා ක්‍රම 4කට අනුව සිදුකරනු ලැබේ.. එමෙන්ම දෝෂය දැක්වීමේදී ඇඟිලි භාවිතා කිරීමේද වෙනස්කම් ඇත. විවිධ පාරම්පරික සිංහල වෛද්‍යවරුන් තම තම ආවේනික සුවිශේෂ ක්‍රම භාවිත කළද පොදුවේ නාඩි පරීක්ෂා ක්‍රම සතර ආකාරයකට බෙදා දැක්වේ…
දෝස නාඩි ශාස්ත්‍රය
අංගුලී නාඩි ශාස්ත්‍රය
හස්ත නාඩි ශාස්ත්‍රය
භූත නාඩි ශාස්ත්‍රය
දකුණු අතේ මැණික් කටු සන්ධියේ සිට අංගුලි දෙකක් හැර මහපට ඇගිලි මුල වදින්නාවූ වාතය පිත සෙම යන නාඩි තුන ජීවසාක්ශිණී ධමනිය පරීක්ෂාකර බලා රෝග හදුනාගැනීම දෝස නාඩි ශාස්ත්‍රයයි. මෙහිදී වා, පිත්, සෙම් යන තුන් දෝසයේ අඩු වැඩි වීමත් එහි නාඩි රටාව අනුගමනය කොට රෝග නිදානය හදුනාගැනීමත් සිදුකරනු ලැබේ. ශරීරයේ ඇති පංචමහා භූතයන්ගේ පිහිටීම අතේ ඇගිලි වලින් පෙන්නුම් කෙරේ. මෙසේ අතැගිලි පරීක්ෂාකර උඩුකයේ මැදකයේ යටිකයේ ඇති පංචමහා භූතයන්ගේ තත්තවයත් ශරීරයේ තුන්දෝසයත් ඒ ආශ්‍රිතව ඇත්තාවූ සියලු රෝග තත්වයන්ද පරීක්ෂා කර බලා රෝග නීර්ණය කිරීම රෝග නිධනය හදුනා ගැනීම මෙම අංගුලී නාඩි ශාස්ත්‍රයෙන් සිදු කෙරේ.. අත්ලේ හා පිටි අත්ලේ පිහිටි නිල ස්ථාන හා ශරීරගත අවයව වලට සංවේදීව පිහිටි සුවිශේෂ ස්ථාන පරීක්ෂාකර බලා පීඩාවට පත්ව තිබෙන අවයවය හා එහි ඇති රෝග නිධානය හදූනාගෙන ප්‍රතිකාර කිරීම හස්ත නාඩි ශාස්ත්‍රයයි .මෙහිදී අක්මාව අග්න්‍යාශය වකුගඩු ආමශය ගර්භාශය මුත්‍රාශය ඇතුලු අවයව තුල ඇති ආබාධ තත්වයන්ද හදුනාගනි..
ශරීරය තුල ඇති සුවනොවන රෝග වලට හේතුව ග්‍රහ බලපෑම මලගිය ප්‍රාණ බැල්ම ඉනාවල් කැවීම හදිහූනියම් විනබන්දන ආදියේ සම්බන්දයදැයි පරීක්ෂා කිරීම භූත නාඩි පරීක්ෂාවෙන් සිදුකෙරේ.. නාඩි පරීක්ෂාකර බලා රෝගීන්ගේ රෝග නිධානය සොයාගැනීමට අප සිංහල වෙදකමේදී මෙම ක්‍රම 4ම භාවිතා කරනුලැබේ. තවද නාඩි ගමන් වේගය ගමන් රටාව දේශගුණය කාලගුණය දිවා රාත්‍රී භේදය ගන්නා ලද ආහාර වයස නිසාද වෙනස්වේ. නාඩි පරීක්ෂාව සිදු කිරීමේදී මේ සියලු කරුණු පිලිබඳව සලකා බලා කටයුතු කිරීම වැදගත්වේ. එමෙන්ම පෙරවරු කාලයේදී නාඩි පරීක්ෂා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේ.. ආයුර්වේද හා සිද්ධ සම්ප්‍රදාය අෂ්ට පරීක්ෂා පොතේද, නාඩි තරංගනී පොතේද, දක්නට ලැබේ සිංහළ නාඩි ශාස්ත්‍රය සිංහල යොගරත්නාකරයේද පුරාණ නාඩි පොතේද භූත නාඩි ශාස්ත්‍රය පොතේද සිංහල නාඩි විද්‍යාව පොතේද පංච පරීක්ෂා පොතේද දක්නට ලැබේ.
චතුරංග වීරක්කොඩි දේශ ශක්ති වෛද්‍යකීර්ති වෛද්‍යරත්න වෛද්‍යාචාර්ය
මූලාශ්‍රය :-karma.lk
ගොටුකොළ අාහාරයට එක්කර ගත යුත්තේ ඇයි? ගොටුකොළ වල අසීමිත ගුණය දැනගන්න
අප රටේ පහසුවෙන් වැවෙන ගොටුකොළ පමණ උසස් පලා වර්ගයක් කොළ වර්ග අතර තවත් නැත. ගම්බද ගස් සෙවනේ වැඩෙන හීන් ගොටුකොළ අනෙක් ගොටුකොල වර්ග වලට වඩා ගුණයෙන් උසස්ය. හීන් ගොටුකොල වල කොල අඩුය. රිකිලි හා මුල් බහුලය. මුල් වැඩි නිසා පොළොවෙන් ලැබෙන ධාතු ගුණ එහි වැඩි පුර තිබේ. අමුවෙන් ගොටුකොළ සම්බෝල සාදාගැනීමේදී හීන් ගොටුකොල හා දඬු හා මුල් ඉවත දමන නිසා ඖෂධීය ගුණ ඇති කොටසක් අපතේ යයි.
| Add caption |
ගුණ වශයෙන් ගොටු කොළ සීතලයි. දිරවීමට පහසුයි, අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි.
තවද මූත්‍ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ. දරුවන් නොලැබෙන කාන්තාවන්ගේ ගර්භාශයේ හෝ ඩිම්බකෝෂවල විශේෂ පීඩාවක් ඇත්නම් එබඳු කාන්තාවන්ට ගොටුකොළ තම්බා බීම හෝ තේ මෙන් සාදා බොන්නට දීමෙන් හොද ගුණ ලැබේ. මොලයේ ස්නායු තන්තූන් නිරෝගිමත් කිරීමද ගොටුකොල වල ඇති විශේෂ ගුණයකි.
සැරව උපදවන විෂබීජ විනාශ කිරීමේ ගුණයක්ද ගොටුකොල වල ඇත. තුවාලයක් වූ විට හෝ වණයක් ඇතිවිට ගොටුකොළ පොඩිකර තැබීමෙන් සැරව නැති තුවාලය හොදවන බව ගම්බද ළමයින් හොඳින් දනිති.
මේ සදහන් ගුණ ලබා ගැනීමට ගොටුකොළ ආහාර පිණිස ගත යුත්තේ අමුවෙන් නැතහොත් කැඳ සාදාය. ගින්නෙන් බොහෝසේ තැම්බෙන පරිදි ව්‍යංජන සාදා ගැනීමෙන් ගොටුකොල වල ගුණය හීන වේ.
පානදුර ගඟුල වෙද මැදුර
පොඩි වෙද මහත්තයා
මූලාශ්‍රය :-karma.lk
පාලි සාහිත්‍යය පෝෂණය කළ ගිහි පඩිවරු
බුදු රජාණන් වහන්සේගේ මුල් බුද්ධ දේශනාවේ භාෂා මාධ්‍යය පාලි ය. එය මාගධී, තන්ති යන නම්වලින් ද කලකදී හදුන්වා තිබේ. ථේරවාද පාලි සම්ප‍්‍රදාය විසින් ත‍්‍රිපිටක බුද්ධ දේශනාවේ පැහැදිලි අර්ථ මතු කරගැනීමට නම් නිරුත්තිය දැන සිටීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබ ඇත.
‘‘යො නිරුත්තිං න සික්ඛෙය්‍ය – සික්ඛන්තො පිටකත්තයං,
පදෙ පදෙ විකඕඛෙය්‍ය – වනෙ අන්‍ධගජො යථා’’
(මොග්ගල්ලානපඤ්චිකා, කවිදප්පණනීති)
‘‘යමෙක් (ත‍්‍රිපිටක පාලි) භාෂාව ඉගෙන නො ගනිමින් ත‍්‍රිපිටකය ඉගෙන ගන්නේ ද ඒ තැනැත්තා වනයෙහි හැනිරෙන අන්ධ ඇතෙකු (ඒ ඒ ගස් ආදියෙහි හැපෙන්නාක්) මෙන් පදයක් පදයක් පාසා සැක කරන්නේ ය.’’
මෙයින් පැහැදිලි වනුයේ ත‍්‍රිපිටකය පිළිබද නිරාකූල, පිරිසිදු පැහැදිලි දැනුමක් ඇති කර ගැනීමට නම් එහි භාෂා මාධ්‍යය වන පාලි භාෂාව පිළිබද හොද දැනුමක් තිබිය යුතු බව යි. ඇතැම් විටෙක අනුන් ධර්මය විස්තර කරන විට දී වැරදි සිදු විය හැකි ය. පිරිසිදු පාලි හා ධර්ම දැනුමක්, අවබෝධයක් නොමැති විට එම වැරදිවලට හසු වීම ස්වභාවික ය. මේ තත්ත්වය වටහා ගත් ලොව පුරා විසූ සහ වසන ඇතැම් උද්යෝගීමත් ගිහි පිරිස් ද පාලි භාෂාව ඉගෙන ගැනීමට පෙලබී ඇත. ඔවුන්ගෙන් සමහරු තමන් පමණක් පාලි ඉගෙනීමෙන් සෑහීමකට පත් නො වී අනුනට ද පාලි ඉගැන්වීම වෙනුවෙන් පොත පත ලිවීම, පැරණි ධර්ම ග‍්‍රන්ථ සංස්කරණය හා පරිවර්තනය යනාදියට ද ඉදිරිපත් වූහ.
අත්තරගම රාජගුරු බණ්ඩාර පඩිවරයා (ක‍්‍රි. ව. 1700 වර්ෂ ගණන්වලදී පමණ) කීර්ති ශ‍්‍රී රාජසිංහ මහ රජු කල බිහි වූ සුවිශේෂී පාලි විද්වතෙකි. බාල කාලයේදී වැලිවිට සරණංකර සංඝ රාජයන් වහන්සේ වෙතින් පාලි ව්‍යාකරණාදිය ඉගෙන ගත් මොහු පසු ව පැවිදි උපසම්පදා විය. එහෙත් පසු කලෙක පරසතුරු උපද්‍රවයක් ඇති වූ බැවින් මෙතුමාට රජුගේ නියමය පරිදි සිවුරු හැර ගිහි වන්නට සිදු විය. එම සතුරු උවදුරු ඉක්ම ගිය පසු රාජගුරු භාවයට පත් වූ මෙතුමා සූධීරමුඛමණ්ඩනය වැනි පාලි ව්‍යාකරණ පොත් ආදිය ලියුවේ ය.
ෙදාන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ ප`ඩිතුමා (ක‍්‍රි. ව. 1819 – 1892) කුඩා කල පටන් ඉගෙනීමෙහි දක්‍ෂයෙකු වූ බැවින් නාදුගල රේවත තෙරණුවෝ මෙතුමා කුඩා කාලයේදී පැවිදි කරගත්හ. තිස් පස් වැනි වියේදී සිවුරු හැර නැවත ගිහි බවට පැමිණි බටුවන්තුඩාවේ ප`ඩිතුමා එවකට ප‍්‍රකට දේවගැතිවරයෙකු ව සිටි ඞී. ජේ. ගොගර්ලිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නොර්මල් පාඨශාලාවේ ආචාර්යවරයෙකු බවට පත් විය. එහදී ගොගර්ලි දේවගැතිවරයා බුද්ධාගමට විරුද්ධ ව ලියූ ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති නම් පොතක සෝදු පත් බලන ලෙස මෙතුමාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ බැවින් පාසැලෙන් අස් කරන බැව් පැවසී ය. හිතට එකග ව වංචාවක් කරනු අකැමැති වූ ඔහු තනතුරෙන් ඉල්ලා අස් විය. අනතුරු ව වැඩි කලක් ගත වන්නටත් පෙර විවාහ දිවියට පත් හෙතෙම පසු කලෙක එම විවාහය නිසා පුතුන් සතර දෙනෙකු දූවරු දෙදෙනෙකු ද ලැබුවේ ය.
මුලින් ස`දහන් කළ ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති කෘතියට පිළිතුරු ලිවීමට අදහස් කළ මෙතුමා ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්ති ඛණ්ඩනය නමින් කෘතියක් රචනා කළේ ය. එහෙත් ඉන් අනතුරු ව ඇති වූ ගැටලූව වූයේ තමන් විසින් රචනා කළ කෘතිය මුද්‍රණය කරගැනීමට ඒ වන විට බෞද්ධ මුද්‍රණාලයක් නොමැති වීම යි. එබැවින් ශිල්පීන් ලවා ලී තහඩුවල අකුරු කප්පවා පොත මුද්‍රණය කරවීය. අනතුරු ව බෞද්ධ මුද්‍රණාලයක් පිහිටුවීමෙහි ලා උත්සාහවත් වූ මේ තෙමේ ලංකාභිනව විශ‍්‍රැත නමින් යන්ත‍්‍රාලයක් පිහිටුවීය. නවකයින්ට පාලි හා සිංහල භාෂා ඉගෙනීමට උපකාර වන පොත් මුලින් ම මුද්‍රණය කරවා ඇත්තේ මෙහි ය.
හික්කඩුවේ සිරි සුමංගල මාහිමියන් සමග එක් වී මහාවංසය සිංහලට නැගූ බටුවන්තුඩාවේ පඩිතුමා එහි මූල පාලි කොටස ද මුද්‍රණයට සංස්කරණය කළේ ය. අනතුරු ව බාලාවතාරය හා කච්චායනධාතුමඤ්ජුසාව වැනි පාලි ව්‍යාකරණය ඉගෙනීමට උපකාර වන මූල ග‍්‍රන්ථ ද මෙතුමන් විසින් තව දුරටත් සංස්කරණය කිරීමෙන් හා බොහෝ ශිෂ්‍ය පිරිසකට පාලි භාෂාව ඉගැන්වීමෙන් පාලි භාෂා විෂය අධ්‍යයනයට මහත් සේවයක් ඉටු විය. පාලි පොත පත ම සංස්කරණයෙන් නො නැවතුණු මේ පඩිවරයා පාලි භාෂාවේ ඥාති භාෂා වන සංස්කෘත හා සිංහල භාෂාවන්ගෙන් රචිත කෘති ද සංස්කරණය කළේ ය. ඒ අනුව අනුරුද්ධශතකය, අමරකෝෂය, වෘත්තමාලාඛ්‍යාව, සූර්යශතකය, මාධවය, රුවන්මල, පියුම්මල හා සිදත්සගරා පුරාණ සන්නය වැනි සංස්කෘත හා සිංහල භාෂා පොත් විශාල ප‍්‍රමාණයක් ද සංස්කරණය කළේ ය.
මේ ආදි වශයෙන් විශාල ලාංකේය ගිහි පිරිසක් පාලි භාෂාවේ උන්නතිය උදෙසා කැප වී ක‍්‍රියා කළහ. මෙහි ඉහතින් සදහන් කළ පඩිවරු දෙදෙනා ම කලක් පැවිදි වී සිටි බැවින් ඇතැම් විට ඇතැමෙකු ඔවුන්ගේ පාලි භාෂා ඥානය ගැන අවතක්සේරුවෙන් සලකන්නට ඉඩ ඇත. එබැවින් එවැනි දුර්මත ඉවතලීමට අදාළ කරුණු කිහිපයක් ද මෙහි ලා සටහන් කළ යුතු ය. කෙනෙකු පැවිදි වුවද පාලි, සංස්කෘත හා බුද්ධ ධර්මය පිළිබද බැස ගත් දැනුමක් ඉබේ ඇති නො වේ. එය වනාහි උත්සාහයෙන් හා වීර්යයෙන් ම ඇති කරගත යුත්තකි. පාලි භාෂා දැනුම ඇති කරගැනීමෙහි ලා ගිහියා හා පැවිද්දා යන දෙදෙනා ම දැරිය යුත්තේ එක හා සමාන උත්සාහයකි. කෙනෙකු කැමැති කාලයක් කැමැති සීලයක් රැුකීම ස්වභාවික දෙයකි. පැවිද්ද ද එසේ ම ය. ඒ සීලය රැක අවසන් වූ පසු ඔහු හෝ ඇය සමාජයේ අනෙක් අයට ද වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඒ මන්ද යත් අනෙක් අයට වඩා ඒ තැනැත්තා කලක් උසස් සීලයක් රැුකි නිසා ය.
තායිලන්තය වැනි රටවල් දෙස බැලීමෙන් මේ තත්ත්වය තවත් පැහැදිලි කරගත හැකි ය. එම රටවල සෑම පිරිමියෙකු ම පැවිදි ව සිටිය යුතු ය. පැවිදි වීම මෙන් ම සිවුරු හැරීම ද යන දෙක ම ස`දහා උත්සවයක් ගැනීම සිදු කෙරේ. විවාහයක් වන විට, රැුකියාවකට යන විට පැවිදි සහතිකයට විශේෂ සැලකිල්ලක් ලැබේ. වැඩි කලක් පැවිදි වී සිටි තැනැත්තාට වැඩි සැලකිල්ලක් ලැබෙන අතර පැවිදි වී නො සිටියේ නම් සැලකිල්ලක් නො ලැබේ. ජීවිතාන්තය දක්වා ම පැවිද්දේ සිටින පැවිද්දන් අති පූජනීය වේ. මෙවැනි තත්ත්වයක් ඒ රටවල ඇති නිසා බොහෝ දුරට සෑම දෙනෙකු කෙරෙහි ම පාහේ පාලි භාෂාව ගැන යම් හෝ දැනුමක් පවතියි. එසේ ම ඒ රටවල පැවිද්දන් කෙරෙහි සෑම පුද්ගලයෙකු තුළ ම අපමණ ගෞරවයක් හා නිසි අවබෝධයක් පවතියි. එය ලංකාවේ ජනතාවට සාපේක්‍ෂ ව බලන විට ඉතා ඉහළ මට්ටමක පවතියි. ඒ මන්ද යත් ඒ රටවල සෑම කෙනෙකු ම පැවිදි ව සිටි බැවින් පැවිද්දේ වටිනාකමත්, බැරෑරුම්කමත් ප‍්‍රායෝගික ව ම මනා ව දන්නා හෙයිනි.
බුරුම හා තායිලන්තය වැනි රටවල සාමාන්‍ය ජනයා අතර පවා බුද්ධ ධර්මය, පාලි භාෂාව වැනි විෂයන් කෙරෙහි කෙතරම් දැනුමක් ඇත් ද යත් විශාල ගිහි පිරිසක් අතින් පාලි පොත පත ලියැවී ඇත. කච්චායනය නම් පාලි ව්‍යාකරණ සම්ප‍්‍රදායේ පරිවාර ග‍්‍රන්ථයක් වන මුඛමත්තදීපනී කෘතියට කළ පුරාණ ටීකාව වන න්‍යාසප්පදීප නම් කෘතිය රචනා කරන ලද්දේ ඇමතිවරයෙකු විසිනි. බුරුමයේ අරිමද්දන නුවර විසූ නරපතිසීසු රජු කල එනම් බු. ව. 1718 දී පමණ එම රජුගේ ඇමතියෙකු විසින් මෙම කෘතිය ලියා තිබේ. මෙය ලිවීමට පසුබිම් වූ කථාව මෙසේ ය. රජුගේ අන්තඃපුරයෙහි උපන් කුමරියක කෙරෙහි මේ ඇමතියා තුළ කැමැත්තක් ඇති විය. ඒ බව දැන ගත් රජු ඇමතියාට පාලි භාෂාවෙන් ගැඹුරු ග‍්‍රන්ථයක් කළ හොත් එම කුමරිය ඔහුට දෙන බව පැවසුවේ ය. කුමරිය ලබා ගැනීමෙහි උත්සුක වූ ඇමතියා මෙම පාලි ව්‍යාකරණ ටීකාව රචනා කළේ ය. ඇමතියාගේ කෘතියට පැහැදුණු රජතුමා කුමරිය ද රජ්ජුග්ගාහක නම් මැණුම් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානත්වය ද ඔහුට දුන්නේ ය.
බු. ව. දෙදහස් ගණන් ආරම්භයේ දි පමණ බුරුම රට අරිමද්දන නුවර විසූ ච්‍යස්වා නම් රජුගේ දූ කුමරියක විසින් පාලි භාෂාවේ විභත්තිවලින් ගත හැකි නොයෙක් අර්ථ ප‍්‍රකාශ කිරීම සදහා විභත්ත්‍යත්‍ථ නම් කෘතිය රචනා කොට තිබේ. මැය විසින් රචිත මෙම පාලි ව්‍යාකරණ කෘතිය කෙතරම් සම්භාවනාවට පාත‍්‍ර වී ද යත් මෙම කෘතිය විවරණය කරමින් සුතබුද්ධි නම් භික්‍ෂුවක විසින් ටීකාවක් ද රචනා කොට තිබේ. මෙහි සදහන් ච්‍යස්වා රජු පාලි භාෂාව හා ධර්ම විනය පිළිබද හොද දැනීමක් තිබුණු අයෙකු විය. ඔහු රාජ්‍ය පාලනය යුව රජුට භාර දී භික්‍ෂූන්ට හා අන්තඃපුර ස්ත‍්‍රීන්ට ධර්මය ඉගැන්වූ බව සදහන් වේ. තවද මේ රජු විසින් ම පාලි කච්චායන ව්‍යාකරණ සම්ප‍්‍රදායේ පරිවාර ග‍්‍රන්ථයක් වන සද්දබින්‍දුව ද රචනා කරන ලදී. සද්දබින්‍දුව යනු පාලි කච්චායන ව්‍යාකරණයේ ව්‍යාකරණ කොටස් ඉතා කෙටියෙන් මතක තබා ගත හැකි පරිදි ගාථාවලින් ම රචිත කෘතියකි.
බු. ව. 1800 ගණන්වල බුරුම රට විජය පුරයේ විසූ චතුරංගබල ඇමතිවරයා ද සුවිශේෂී පාලි උගතෙකි. මොහු විසින් පාලි කෝෂ ග‍්‍රන්ථයක් වන අභිධානප්පදීපිකා නම් නිඝණ්ඩුවට ටීකාවක් රචනා කළේ ය. එම ටීකාවේ එක් කොටසක් අවසන මෙසේ ස`දහන් වේ.
‘‘සියලූ ව්‍යාකරණ නමැති මහ වනයෙහි නො පැකිලි ව ගමන් කරන ඥාන ගති ඇත්තා වූ, පණ්ඩිතයන් නමැති ඇතුනට සිංහරාජයෙකු වන්, ප‍්‍රඥාවන්ත වූ චතුරංගබල මහ ඇමතියා විසින් විරචිත අභිධානප්පදීපිකාවර්ණනාවේ සාමඤ්ඤකණ්ඩ වර්ණනාව අවසන් වේ.’’ යනුවෙනි.
සද්දසාරත්‍ථජාලිනිය නම් පාලි ව්‍යාකරණ කෘතිය කළ කණ්ටකක්ඛිපනාගිත පණ්ඩිත තෙර නමගේ උගත්කම විමසීමට එකල සිටි රජුට අවශ්‍ය වූ විට ඒ සදහා පිටත් කර හැරියේ මේ ඇමතියා ය. ඇමතියා විසින් තෙරුන්ගෙන් ප‍්‍රශ්න විමසා උන්වහන්සේගේ උගත්කම තේරුම් ගෙන ඒ බව රජුට දන්වන ලදී.
මීට අමතර ව රාමඤ්ඤ දේශාධිපති ව සිටි ධම්මචේතිය රජු විසින් එතුමාගේ රාජධානිය වූ හංසාවතී නුවර ක‍්‍රි. ව. 1400 ගණන්වල දී පිහිටුවන ලද පාලි භාෂාමය සෙල්ලිපියක් වේ. එය කල්‍යාණී සිලාලිපි නම් වේ. එරට බුදු සසුන පිහිටුවීමේ කථා පුවත ඇතුළත් මෙම සෙල්ලිපිය පොතකට ගත හැකි තරමේ ම දීර්ඝ පාලි සෙල්ලිපියකි. කලක් පැවිදි ව සිට ධර්ම විනය හා පාලි භාෂා දැනුම දියුණු කරගත් හෙතෙම පසු ව රාජ්‍යයට පැමිණ කලක් තිස්සේ අපිරිසිදු ව පැවති එරට බුදු සසුන ලාංකේය භික්‍ෂූන්ගේ ආධාරය ඇති ව පිරිසිදු කළේ ය. අනතුරු ව ඒ සියලූ පුවත් ඇතුළත් කොට මෙම සෙල්ලිපිය සැකසී ය.
මේ ආකාරයට ලොව පුරා සිටි ගිහි පාලි උගතුන් නිසා පාලි භාෂාවේ උන්නතිය උදෙසා විශාල සේවයක් ඉටු විය. මේ නිසා අදට ද පාලි ව්‍යාකරණය හා භාෂාව මැනවින් සුරක්‍ෂිත ව ඇත. තථාගත වචනය ආරක්‍ෂා කරගැනීමට නොයෙක් ආකාරයෙන් අනුපමේය කැප කිරීමක් කළ ඒ සැම සදා අනුස්මරණීය යි. අප විසින් කළ යුතු ව ඇත්තේ හුදෙක් ඔවුනගේ ගුණ කීම ම පමණක් නො ව ඔවුන් ගත් මග ගැනීම යි.
(පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත හිමියන් විසින් රචිත පොත පත මෙම ලිපිය සැකසීමේදී විශේෂයෙන් උපකාරී වූ බව කෘතඥතා පෙරටුව සටහන් කරමි)
Subscribe to:
Posts (Atom)




Social Media
Search