***ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය***


               ***ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය***




  අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය අයත්වන චක‍්‍රාවාටය හෙවත් මන්දාකිණිය අප කිරි සයුර නැතහොත් ක්‍ෂීරපථය යනුවෙන් හඳූන්වනවා. ක්‍ෂීරපථය වැනි තවත් මන්දාකිණි බිලියන ගණනක් විශ්වය තුළ පිහිටා ඇතැයි තාරකා විද්‍යාඥයින් අනුමාන කරනවා. එවැනි මන්දාකිණි බොහෝමයක් පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. එසේ අනාවරණය කරගත් මන්දාකිණි අතුරින් තවත් සුවිශේෂ මන්දාකිණියක් පිළිබඳවයි අද ඔබට තොරතුරු ගෙන එන්නේ.මේ මන්දාකිණිය තමයි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ........,,


           මෙසියර් 31, M 31 නැතහොත් NGC 224 වැනි නම් වලින් ද හඳුන්වන මෙම මන්දාකිණිය අපගේ ක්‍ෂීරපථය චක‍්‍රාවාටයට ආසන්නයෙන්ම පිහිටි මන්දාකිණිය ලෙසින්ද සැලකෙනවා. ඇන්ඩ්‍රොමීඩා තරු රාශිය තුළ පිහිටි මෙම මන්දාකිණිය අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ මිලියන 2.5 දුරින් පිහිටා තිබෙනවා. ඒ අනුව ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටයට අයත් තාරකාවකින් නිකුත්වන ආලෝක කිරණයක් අපගේ පෘථිවියට ළඟා වීමට වසර මිලියන 2.5 ක් ගතවෙනවා. මන්දාකිණි වර්ගීකරණය අනුව ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය සර්පිලාකාර මන්දාකිණියක් ලෙස වර්ගීකරණය කෙරෙනවා.ක්‍ෂීරපථය මන්දාකිණිය , ති‍්‍රකෝණික මන්දාකිණිය , සහ අවට පිහිටි තවත් කුඩා ප‍්‍රමාණයේ මන්දාකිණි 30 ක් අතුරින් විශාලතම මන්දාකිණිය වන්නේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. මෑතකදි ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්‍ෂය යොදා ගනිමින් සිදුකළ නිරීක්‍ෂණයන්ට අනුව ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය තුළ තාරකා ටි‍්‍රලියන 1 ක් ( 1*1012) පමණ පවතී යැයි නිගමනය කර තිබෙනවා. එය අපගේ ක්‍ෂීරපථය තුළ ඇති තාරකා ප‍්‍රමාණය ද අභිබවා යාමක් ලෙසයි විද්‍යාඥයින් පවසා සිටින්නේ. 2006 දී සිදුකළ ගණනය කිරීම් අනුව අපගේ ක්‍ෂීරපථය ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙන් 80% ක පමණ ස්කන්ධයකින් යුක්ත වන බව සොයා ගැනීමට හැකිවුණා.ආලෝක තත්ත්වයන්ට බාධා එල්ල නොවූ ජනගහණය අඩු කුඩා නගර හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පිහිටි අඳුරු අහසකදී පියවි ඇසින් ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය දැක ගැනීමට ලැබෙනවා. එහෙත් දූරේක්‍ෂයක් නොමැතිව පියවි ඇසින් දැකීමේදී අපට දිස්වන්නේ ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටයේ දීප්තිමත් මධ්‍ය කොටස පමණයි. නමුත් ආනතව දිස්වන චක‍්‍රාවාටයේ සම්පූර්ණ විෂ්කම්භය පූර්ණ චන්ද්‍රයා මෙන් හත් ගුණයක් පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා.ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය මෙසියර් 31 හෙවත් M 31 යනුවෙන්ද හැඳින්වෙන බව ඉහත සඳහන් කළා. විමෝචක ආකාශ වස්තූන් පිළිබඳව ලයිස්තුවක් පිළියෙල කළ මෙසියර්ගේ එම ආකාශ වස්තු නාමකරණයේ 31 අංකයට ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය පිහිටා තිබීම එයට හේතුවයි. M 33 සහ තවත් කුඩා මන්දාකිණි කීපයක් එක්ව අපගේ ක්‍ෂීරපථය මන්දාකිණි සෑදී තිබෙන්නාක් මෙන් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියත් M 32 සහ M 110 යන දීප්තිමත් වාමන මන්දාකිණි සමග එක්ව පිහිටා තිබෙනවා.කි‍්‍ර. ව. 905 තරම් ඈත කාලයේදී ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය පිළිබඳව නිරීක්‍ෂණයන් සිදුකර ඇති බවට වාර්තා වෙනවා. පර්සියානු ජාතික තාරකා විද්‍යාඥයකු වූ අබ් - අල් රහ්මාන් අල් සුෆි එය කුඩා වළාකුළක් යනුවෙන් විස්තර කර තිබෙනවා. මේ යුගයේදී සකස් කර තිබූ තාරකා සටහන් වල ඇන්ඩ්‍රොමීඩාව දක්වා තිබෙන්නේ කුඩා වළාකුළ යනුවෙන් දූරේක්‍ෂයක් ආධාරයෙන් ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය පිළිබඳව නිරීක්‍ෂණය කළ ප‍්‍රථම පුද්ගලයා වන්නේ සයිමන් මාරියස් (1612 ) නමැති තාරකා විද්‍යාඥයායි. 1764 දී චාල්ස් මෙසියර් විසින් වර්ගීකරණය කරන ලද ආකාශ වස්තූන් අතර ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය M 31 යනුවෙන් හඳුන්වා තිබෙනවා. 1785 දී විලියම් හර්ෂල් විසින් මෙය සයිරියස් තාරකාවට වඩා 2000 ගුණයක් පමණ අඩු දුරකින් පිහිටි නිහාරිකාවක් බව ප‍්‍රකාශ කළත් ඔහුගේ නිගමනය වැරදි බව තහවුරු වුණා. 1864 දී විලියම් හියුජන්ස් විසින් ඇන්ඩ්‍රොමීඩාවේ වර්ණාවලිය ඇසුරින් සිදුකළ ගවේෂණ වලට අනුව එය වායුමය නිහාරිකාවකට වඩා වෙනස් වස්තුවක් බව නිගමනය කළා. 1887 දී අයිසෙක් රොබර්ට්ස් විසින් සසෙක්හි පිහිටි සිය පෞද්ගලික තාරකා නිරීක්‍ෂණාගාරයේ සිට ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටයේ ප‍්‍රථම ඡායාරූපය ලබාගැනීමට සමත් වුණා. සර්පිලාකාර මන්දාකිණියක හැඩය මුල්වරට දැක ගැනීමට ලැබුණේ එම ඡායාරූපයත් සමගයි. එහෙත් එම කාලයේදී බොහෝ දෙනා සිතුවේ එය අපගේ මන්දාකිණිය තුළම පිහිටි සර්පිලාකාර නිහාරිකාවක් බවයි. කෙසේ නමුත් පසුකාලීනව දියුණු දූරේක්‍ෂ ඇසුරින් සිදු කරන ලද ගවේෂණ තුළින් ඇන්ඩ්‍රොමීඩා යනු මන්දාකිණියක් බව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. මේ වන විට ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තුළින් වාමන මන්දාකිණි 14 ක් පමණ හඳුනාගැනීමට සමත් වී තිබෙනවා.

Comments